ගැහැණු දෙන්නෙකුට වෙන් වුණ සින්දු දෙකක්
මට අත්හැර ගන්න බැරි පුරුද්දක් තියනවා. ඇත්තටම
ඒක අත්හැරිය යුතු පුරුද්දක් නෙමෙයි. ඒක ජීවිතේ රිද්මයකට තියාගන්න උදව් කරන හරි
ලස්සන පුරුද්දක්. බස් එකකට
නැග්ගොත් මං හොයන්නේ ජනේලේ අයිනේ සීට් එකක්. ඊට පස්සේ කොන්දොස්තරට සල්ලි දෙන්නත්
කලින් මං හොයන්නේ මගේ කන් ඇබ දෙක. දෙයියනේ කියලා ඕක කණේ ගහගෙන මට කොළඹ ඉදන් යාපනේට
වුණත් බස් එකක යන්න පුලුවන්. මගේ ප්ලේ ලිස්ට් එකේ තියන එක එක vibe එකට ගැලපෙන සින්දු එක්ක මට එක එක මනෝ ලෝක
වලට පියාඹගෙන යන්න මහ ලොකු වෙලාවක් යන්නේ නෑ. ඒ මනෝ ලෝක වල ඉදගෙන මට අනාගතේ ගොඩක්
දුරකට ඇවිදගෙන යන්න පුලුවන්. කවදාවත් ලැබෙයි කියලා හිතාගන්න වත් බැරි අනාගතයක් ගැන
ලස්සනට මවාගෙන සැනසෙන්නත් පුළුවන්. ඉතින් ජීවිතේ සැනසෙන්න හේතු නැති වෙලාවකත් අපිට
එහෙම ඒ විදිහට සැනසෙන්න පුළුවන් නේද කියලා මට හිතුණ වෙලාවල් අනන්නතවත් තියනවා.
හරි දැන් මං කියන්න යන්නේ මෑතකදි මම අහන්න
ගත්ත සින්දු දෙකක් ගැනයි. ඇත්තටම මේක අහම්බයක්ද මොකක්ද කියලා මටත් හිතා ගන්න බෑ. මගේ
Play list එකට මෑතකදි ලස්සන සින්දු
දෙකක් එකතු වුණා. එකක් තමයි මිහිඳු ආරියරත්නගේ ″ ප්‍රේමය නිසාමයි‶ .
උඹ එක්ක තනිවෙද්දි
තනිකමට සමුදෙද්දි
අපි ළඟම අපි හිටියේ
ප්‍රේමය නිසාමයි
හිස උරහිසේ ඉද්දි
උඹෙ නින්ද මගෙ වෙද්දි
ඇහැරන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි
උඹෙ නළල සිපගද්දි
තොල් අතර සැඟවෙද්දි
උඹ මා වෙළාගත්තේ
ප්‍රේමය නිසාමයි
සතුටින්ම අපි ඉද්දි
ලොව එරෙහි වී යද්දි
වෙන් වෙන්න වූයේම
ප්‍රේමය නිසාමයි
මගෙමමයි පිලිගද්දි
උඩු සිතම සැනසෙද්දි
යටි හිතින් නෑ කීවේ
ප්‍රේමය නිසාමයි
අපි යන්න සැරසෙද්දි
වෙන්වෙමුද පවසද්දි
වෙන්වෙන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි
පෝරුවට උඹ යද්දි
වෙනකෙකුගෙ අතගද්දි
හිතින් උඹෙ අත ගත්තේ
ප්‍රේමය නිසාමයි
ඉරණමට බිළිවෙද්දි
සිහිසුන් වෙලා යද්දි
හිනැහීම සමු දුන්නේ
ප්‍රේමය නිසාමයි
ඈතින්ම උඹ ඉද්දි
මගෙ මතක වියැකෙද්දි
මට උඹව සිහි වෙන්නේ
ප්‍රේමය නිසාමයි
අපි දැන් දුරින් ඉද්දි
මතකයට උඹ එද්දි
හිත මාව රිද්දන්නේ
ප්‍රේමය නිසාමයි
පිලිවෙලට සමු ගද්දි
මම අපිළිවෙල වෙද්දි
විස වතුර ගිල දැම්මේ
ප්‍රේමය නිසාමයි
ප්‍රේමයෙන් තනිවෙද්දි
තනිකමට හුරුවෙද්දි
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි
අනිත් ගීතය තමයි දුමාල් වර්ණකුලසූරියගේ ″ප්‍රේමයේ මුණිවරිය‶
ප්‍රේමයේ මුණිවරිය අත නෑර ළග සිටිය
සසල ලොව ළග නිසල සනහස පිදුව ඔබ
ප්‍රේමයේ මුණිවරිය
ජීවිතේ මහ පුදුම කවි පොත
ප්‍රේමයෙන් පුරවා තබන අතරේ
අත හැරීමක මිහිර තැවරූ
කවි කොතෙක් තිබුණාද? ඔබ ඇසුරේ…
කවි කොතෙක් තිබුණාද? ඔබ ඇසුරේ…
මිනිස් ගුන සුවදින් පහන් වුණු
ඔබේ එළියෙන් මම නිවෙන අතරේ
ඒ එළිය පතුරා තැනින් තැන
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ
ප්‍රේමයේ මුණිවරිය ….
මං කිව්ව අහම්බය නම් මේ ගීත දෙකම මගේ Play list එකේ එක ළඟම තියන සින්දු දෙකක් වීමයි. මේ සින්දු
දෙක එක ළඟ අහනකොට මගේ ජීවිතේ මට මතකයට එන ගැහැණු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි
කලක් මට ආදරය කරලා මාව අතහැර මට රිදවූ මගේ හිටපු පෙම්වතිය. අනිත් කෙනා තමයි මගේ
ජීවිතයේ හැම හොඳ නරක සිදුවීමකදීම මාව අත් නොහැර මං ළඟ හිටපු මගේ හොඳම යෙහෙළිය.
මගේ පෙම්වතිය සහ මං අතර සම්බන්ධය එතරම්ම දිගු
කාලයක් තිබූ සම්බන්ධයක් නම් නෙමෙයි. නමුත් ඇය මගේ ජීවිතයේ සමහර අහුමුලු සියුම්
විදියට ස්පර්ෂ කළ ගැහැණියක්. ඇත්තටම ඇය ඒක එතරම් හිතලා කරපු දෙයක් නෙමේ වෙන්න පුලුවන්.
නමුත් ඇගේ ආත්මය මගේ ජීවිතේ ලොකු පෙරලියක් කරලා තිබුණා. මට ඕන වුණා දවසක ඇගෙන්
සමුගන්න වුණොත් ඒ සම්බන්ධය හරි ලස්සනට ඉවර කරන්න. නමුත් ඒක හිතපු තරම් ලස්සනට ඉවර
කරන්න පුළුවන් වුණේ නෑ.
ඈතින්ම උඹ ඉද්දි
මගෙ මතක වියැකෙද්දි
මට උඹව සිහි වෙන්නේ
ප්‍රේමය නිසාමයි
අපි දැන් දුරින් ඉද්දි
මතකයට උඹ එද්දි
හිත මාව රිද්දන්නේ
ප්‍රේමය නිසාමයි
සමහර මතකයන් අමතක කරන්න කොච්චර උත්සාහ කළත්
ඒක එතරම්ම ලේසි වෙන්නේ නෑ. ඉතින් ඒ සබඳතාවයට වැඩි ආයුෂ නැති වුණත් තවමත් මේ ගීතය
ඇහෙද්දි ඒ සම්බන්ධතාවය මුල ඉදන් අගටම චිත්‍ර පේලියක් වගේ මතකය අස්සේ කැරකෙනවා.
ඒ ගීතය අහලා ඉවර වෙනකොටම ඊළඟට ඇහෙන්නේ
දුමාල්ගේ ප්‍රේමයේ මුණිවරිය. කලින් සින්දුව අහලා සම්පූර්ණයෙන්ම බර වෙලා ගිය mood එක නිවලා දාන්න මේ ප්‍රේමයේ මුණිවරියට පුදුම
හැකියාවක් තියෙන්නේ. මේ ගීතයෙන් දුමාල් අපේ ජීවිත එක්ක සමීප සියලුම ගැහැණුන්ට
ආමන්ත්‍රණය කරනවා. ඒත් මට මේ සින්දුව අහපු පළමු මොහොතෙම ඉස්සෙල්ලම මතක් වුණේ මගේ
හොඳම යෙහෙළියයි.
මිනිස් ගුන සුවදින් පහන් වුණු
ඔබේ එළියෙන් මම නිවෙන අතරේ
ඒ එළිය පතුරා තැනින් තැන
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ
මගේ ජීවිතයේ 2018 සිට මේ වනකන් කාල සීමාව මං
ජීවිතයේ ගත කරන අමාරුම කාල සීමාවයි. එක දවසක් සතුටින් හිටියොත් ඊළඟ මාස ගාණටම නැති
නාස්ති වෙලා යන ග්‍රහයෙක් එනවම තමයි. ඒ අතර වුණ හොඳ දේවලුත් නැතුවම නෙමෙයි. ඉතින්
මේ ජීවිතයේ හැම Up & Down එකකදිම මාව
අතහරින්නේ නැතුව මං එක්කම හිටියේ මගේ හොඳම යෙහෙළියයි. සමහර වෙලාවට මම හරි annoying විදියට
හැසිරෙද්දිත්, ජීවිතේ එපා වෙලා හැම වෙලාවෙම නාහෙන් අඩද්දිත්, විසඳගන්න බැරි අවුල්
ගොඩක් ඔලුවේ පුරවගෙන එද්දිත් මං කියන හැමදේම අහන් ඉදලා ″හැමදේම හරියයි. තව ටිකක් අල්ලගෙන ඉමු‶ කියන්නෙත්, මගේ අතින් වෙන වැරැද්දක් නම් අම්බානකට බැනලා
මාව හදාගන්න බලන්නෙත්, මම ජීවිතේ දිනන හැම මොහොතකම මුලු හදවතින්ම ″මට ඔයා ගැන ආඩම්බරයි‶ කියන්නෙත් මගේ
හොඳම එකා තමයි. මගේ ආදර සම්බන්ධතා දෙදරා යන හැම වෙලාවකමත් මං පොළවටම කඩන් වැටෙද්දි
මාව හයියෙන් අල්ලගෙන ඉන්නෙත් එයා. ඉතින් මේ සින්දුව ඇහෙනකොට මට එයා ඇරෙන්න වෙන කාව
මතක් වෙන්නද?
ඉතින් මේ සින්දු
දෙක මගේ ජීවිතයේ වෙන් වෙන්නෙම ඒ නොහික්මුණු, ආදරණීය ගැහැණුන් දෙදෙනාටමයි.
Comments
Post a Comment